මාර්.14- බිත්තර ආනයනය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සහ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අතර මතභේදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදන පිළිබද ගැටලු මතුවී ඇතැයි, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් රජයට පෙන්වා දෙනු ලැබේ.නමුත් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ආචාර්ය ඩී.වනසිංහ මහතා සදහන් කළේ, ඒ පිළිබදව තමන් සමග සාකච්ඡා නොකළ බවය.
ඊට ප්‍රතිචාර දක්වන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, බිත්තර මිල පාලනය නොවන්නේ නම් සිය නිෂ්පාදනයන් පිළිබද ගැටලු මතුවන බවය.
එහෙත් බිත්තර ආනයනයට රජය කටයුතු කළ හොත් දේශීය කර්මාන්තකරුවා බරපතල අර්බුදයකට මුහුණ දෙන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.
ඒ අතර මාර්තු 31 වෙනිදා වන විට වෙළෙද පොළේ බිත්තර මිල පහළ නොගිය හොත් අප්‍රේල් 2 වෙනිදා පමණ වන විට බිත්තර ආනයනය කිරීමේ තීරණයට එළැඹෙන බව පශු සම්පත් සංවර්ධන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.














