Go to pivisuma Exchange rates Write to editor Archive
 
   

රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා ගැනීමට ඔබාමා සැරසෙයි
ජූනි 26 - අ‌ෙමරිකා එක්සත් ජනපද රජය වඩාත් විවෘත හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා යෝජනා හා අදහස් අ‌ෙමරිකානුවන් වෙතින් ම ලබා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් ඔබාමා පරිපාලනය ක්‍රියාවට නැංවීමට යයි.

මේ සඳහා ඉන්ටර්නෙට්හි පවතින ක්‍රියාදාමයන්ගේ පහසුව හා වේගවත් බව ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් කර තිබීම විශේෂ ලක්ෂණයකි.

ජනාධිපති බරැක් ඔබාමාගේ පොරොන්දුවක් වූයේ පෙර නොවූ විරූ මට්ටමේ විවෘතභාවයක්, විනිවිදභාවයක්, සහයෝගීත්වයක් හා සහභාගීත්වයක් සහිතව රාජ්‍ය පරිපාලනය සිදු කිරිමට කැප වන බවය.

මේ සඳහා අවශ්‍ය සැලසුම් සැකසීමේ ක්‍රියාවලියට සම්මාදම් වීමට අ‌ෙමරිකානු ජනතාවට ද අවස්ථාව විවෘත කර තිබේ.

වෙබ් අඩවියක් හරහා මීට අදාළ යෝජනා හා උපදෙස් ඉදිරිපත් කිරීමට ඕනෑ ම අයෙකුට ඉඩ සැලසෙන අතර විද්‍යුත් තැපෑලෙන් හෝ සාමාන්‍ය තැපෑලෙන් වුව ද මීට සම්බන්ධ විය හැක.

මෙහි පළමු පියවර ලෙස, මේ ආකාරයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු වනු ඇත.

දෙවන පියවර ලෙස මෙසේ ලැබුණු වඩාත් යෝග්‍ය අදහස් මධ්‍යගතව පාලනය කරන බ්ලොග් අඩවියක් (centrally - hosted blog) මගින් ජනතාව අතර කතිකාවක් ඇති කෙරේ.

ඒ හරහා තෝරා ගැනෙන අදහස්, නියමාකාරයෙන් සටහන්ගත කර ලේඛනයක් සැකසීමේ ක්‍රියාවලිය සඳහා ද මහ ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට රජය බලාපොරොත්තු වේ.

අ‌ෙමරිකානුවන්ට මෙම වෙබ් පිටුවට පිවිස, නිවැරදිව වාක්‍ය ගළපා කෙටුම්පතක් ලෙස අදාළ යෝජනා හා අදහස් සැකසීමට මින් අවස්ථාව සැලසේ.

ජනතා සහභාගීත්වය සහිතව සිදු කෙරෙන මෙම අදියරයන් අවසානයේ අ‌ෙමරිකා එක්සත් ජනපද රජය බලාපොරොත්තු වන්නේ, ඔවුගේ නියෝජ්‍යායතන වෙත මෙසේ සැකසූ කෙටුම්පත් ඉදිරිපත් කර ඒවායින් ලැබෙන උපදෙස් සලකා බැලීමෙන් පසු අවසාන ලියැවිල්ල සකස් කිරීමටය.

වඩාත් විවෘත රාජ්‍ය පරිපාලනයක් සඳහා වන උපදෙස් රැගත් මෙම මග පෙන්වීමේ පත්‍රිකාව රටේ රාජ්‍ය ආයතන වෙත නිකුත් කෙරෙනු ඇත.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පැවසුවේ, ප්‍රතිපත්ති සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා සමාජය තුළ දැනට පවතින වඩාත් ප්‍රශස්ත මට්ටමේ වූ තොරතුරු හා දැනුම ප්‍රයෝජනයට ගත යුතු බවත්, අපට අවශ්‍ය විශේෂඥ දැනුම හා ප්‍රවීණතාවන්ගෙන් බොහොමයක් අප රටේ පුරවැසියන් අතරින් ම සොයා ගත හැකි බවත්ය.

(BBC ඇසුරෙනි)

ලැප්ටොප් මගින් දැනුම සමග සාමය
මැයි 01 - ලොව ගැටුම් සහිත රටවල් හා ප්‍රදේශයන්හි ගැටුම දෙපස ම සිටින දරුවන් පරිගණක මගින් දැනුම ලබා ගැනීමට හා තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දීම ලෝක සාමය ඇති කිරීමට මුල් විය හැකි සාධකයක් ලෙස අදහසක් ඉදිරිපත් වී තිබේ.

'සෑම දරුවෙකුට ම එක් ලැප්ටොප් පරිගණකයක්' (One Laptop per Child) නම් වූ අ‌ෙමරිකානු සංවිධානය ලොව වටා වඩාත් දුගී මට්ටමේ පසු වන දරුවන් වෙත මිලෙන් අඩු ලැප්ටොප් පරිගණක බෙදා දීම සඳහා මුල් වී කටයුතු කරන ආයතනයකි.

One Laptop per Child ආයතනයේ සේවය කරන මැට් කෙලර් (Matt Keller) ඇෆ්ගනිස්ථානයේ ළමුන්ට ලැප්ටොප් පරිගණක ලබාදීම සඳහා කටයුතු කිරීමට මුල් වී සිටී.

තලේබාන් සංවිධානය, අධ්‍යාපනය ලබන ගැහැණු දරුවන් සහ ගැහැණු දරුවන්හට උගන්වන්නන්ට විරුද්ධව තදින් කටයුතු කරන අතරතුර ඇෆ්ගනිස්ථානු රජය විසින් සියලු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දක්වනු ලබන කැපවීම අගය කළ යුතු බව මැට් කෙලර් පෙන්වා දෙයි.

අප්‍රසිද්ධියේ තම නිවෙස් තුළ සිටිමින් හෝ මෙවැනි දරුවන්ට ඉගෙනීමට ඉඩ සලසා දිය හැකි ලැප්ටොප් පරිගණක වැනි උපාංග ලබා දීමට පවා ඇෆ්ගනිස්ථානු රජය අධිෂ්ඨාන කරගෙන ඇති බව දැකීමෙන් ඔහු විශේෂයෙන් විස්මටයට පත්ව තිබේ.

උරුගුවේ, හයිටි, මෙක්සිකෝව, මොංගෝලියාව, ඝානාව වැනි රටවල් ගණනාවක 750,000ක් තරම් ළමුන් සංඛ්‍යාවක් ලැප්ටොප් පරිගණක භාවිතයෙන් තම අධ්‍යාපන කටයුතු සඳහා අත්වැලක් සපයා ගැනීමට වාසනාවන්ත වී ඇත.

ලැප්ටොප් පරිගණක හරහා මෙම ළමුන් නව භාෂා ඉගෙන ගැනීමත්, ගණිතය හැදෑරීමත්, සංගීත හා චිත්‍ර නිර්මාණ කිරීමත්, දත්ත එක්රැස් කිරීමත්, මින් පෙර අත්දැකීමට නොහැකිව තිබූ අධ්‍යාපන මූලාශ්‍ර වෙත ළඟාවීමත් දැකිය හැක.

එසේම දේශපාලන හා සංස්කෘතික සීමාවන්ගෙන් වෙන්ව සිටින, කිසිදා දැක නැති තම වයසේ අය සමග තොරතුරු බෙදා-හදා ගැනීමට හා පරිගණක හරහා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමටත් මෙමගින් අවස්ථා උදා වී තිබේ.

මැට් කෙලර් පවසන පරිදි, ඇෆ්ගනිස්ථානය මෙන් ම ඉතිහාසයේ ගැටුම්වලට ලක්ව ඇති ඉරාකය, රුවන්ඩාව සහ ගාසා තීරය වැනි ප්‍රදේශයන් ‍වෙත අවධානය යොමු කිරීම මගින් එම ප්‍රදේශවල වඩාත් හුදෙකලා වූ දරුවන් වෙත අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා සලසා දීමේ පරමාර්ථය සපුරනවා මෙන්ම ලෝක සාමය සඳහා අනුබල දීමක් ද එමගින් සිදුවීම අපේක්ෂා කළ හැක.

(CNN ඇසුරෙන්)

කෙටි පණිවිඩ මගින් ආදායම් ලැබිය හැකි මගක්
මාර්තු 30 - ජංගම දුරකතන කෙටි පණිවිඩ මගින් සුළු කාර්යයන් බෙදා හැරීමේ ක්‍රමයක් හරහා දියුණු වන ලෝකයේ රටවල ජනතාවට අමතර ආදායම් මාර්ගයක් සලසා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

ජංගම දුරකතනවල මිල ගණන් සහ ජංගම දුරකතන සේවාවල මිල ගණන් පහළ යාමත් සමග මෙම දුරකතන සේවා සංවර්ධනය වන රටවල අඩු ආදායම් ලාභී ජනතාව අතර පවා විශාල ව්‍යාප්තියක් දක්වමින් සිටී. මෙහි එස්.එම්.එස් (SMS - Short Message Service) හෙවත් කෙටි පණිවිඩ සේවාව වඩාත් මිල අඩු සන්නිවේදන ක්‍රමයක් ලෙස විශේෂයෙන් ප්‍රචලිතය.

පරිගණක මෘදුකාංග නිපදවන ආයතන ඇතැම් මෘදුකාංග අදාළ රටවල භාෂා ඇසුරෙන් ලබා දීමෙන් "දේශීයකරණය" කිරීමේ ප්‍රයත්නය යටතේ වචන හා වැකි කොටස් විශාල ප්‍රමාණයක් පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබිණ.

මෙම පරිවර්තන හා පිටපත් කිරීමේ කටයුතු අදාළ රටේ පුද්ගලයින් තුළින් ම ජංගම දුරකතන හරහා කරවා ගැනීමේ Txteagle නම් වූ ක්‍රමයක් ඇමරිකානු පර්යේෂකයෙකු වන ආචාර්ය නේතන් ඊගල් මූලික වී හඳුන්වා දී ඇත.

මෙහිදී සිදුවන්නේ, හඳුනා ගත් ඉංග්‍රීසි දැනුම සහිත ජංගම දුරකතන ග්‍රාහකයින් වෙත යම් වචනයක් හෝ වැකියක් අදාළ භාෂාවට පරිවර්තනය කර එවන මෙන් කෙටි පණිවිඩයක් යැවීමය.


උදාහරණයක් ලෙස ජංගම දුරකතනවල යෙදෙන 'address book' යන්න අදාළ භාෂාවට පරිවර්තනය කරන ලෙස ඉල්ලීමක් කළ හැක.

ඊට ප්‍රතිචාර දක්වන සියලු දෙනාගේ පරිවර්තන රැස් කර වඩාත් සුදුසු එක තෝරා ගැනීමට අදාළ ආතනයට මෙහිදී අවස්ථාව සැලසේ.

Txteagle මෙසේ ක්‍රියාවට නැංවූ කෙන්යාවේදී, මෙම සෑම පරිවර්තනයක් සඳහා ම වන ගෙවීම් ජංගම දුරකතන බැංකු සේවාවක් තුළින් එම පුද්ගලයාගේ දුරකතනයට ම ලැබෙනු ඇත.

විරැකියාව සම්බන්ධ විශාල ගැටලුවක් සහිත සංවර්ධනය වෙමින් පවතින රටවල අයට මෙම කටයුත්ත අමතර ආදායම් මාර්ගයක් වන අතර රටේ දළ ජාතික නිෂ්පාදිතයට ද දායක වනු ඇතැයි යන්න ආචාර්ය ඊගල්ගේ මතය වී තිබේ.

ජනතාවගේ ආදායම් තර කිරිමේ අවස්ථාවක් සලසනවා සේ ම, Txteagle මගින් අදාළ සමාගම්වලටත් විශේෂ ආර්ථික වාසි අත් කර දෙනු ඇත.

(BBC ඇසුරෙනි)

නිර්මාණශීලී තොරතුරු තාක්ෂණවේදීන්ගේ දක්ෂතාවලට අවස්ථාවක්
මාර්තු 23 - තරුණ පරපුරේ නිර්මාණශීලී හැකියා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන Imagine Cup 2009 තරගාවලිය මෙවරත් පැවැත් වේ.

ඒ සඳහා වයස අවුරුදු 16ට වැඩි ඕනෑ ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට සහභාගි විය හැක.

උපාධිධාරී පුද්ගලයින්ට ද මෙම තරගාවලියට අයදුම් කළ හැකි බව සංවිධායකවරු පවසති.

මෙහිදී, Software Design, Embedded Development, Game Development, Robotics and Algorithm, IT Challenge, Mashup, Photography, Short Film and Design යන කාණ්ඩ ඔස්සේ තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව සලසා ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.imaginecup.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

ඔබාමාගේ ඉන්ටර්නෙට් භාවිතය
ජන. 30 - නව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බරැක් ඔබාමා තම ඡන්ද ව්‍යාපාරයේදී ඉන්ටර්නෙට් භාවිත කළ ආකාරය ඔහුගේ ජයග්‍රහණයට සුවිශේෂී ලෙස වැදගත් වූ බව පිළිගැනේ.

තම ප්‍රතිවාදීන්ට සාපේක්ෂව ඉන්ටර්නෙට්හි සමාජ සබඳතා සඳහා වන උපාංග පිළිබඳ අවබෝධය සහ ඒවායේ භාවිතය මගින් තම ඡන්ද දායකයින් වෙත ළඟාවීමට බරැක් ඔබාමාට හැකිවීම විශාල වාසියක් වී ඇත.

ගූගල්(google) ආයතනයේ ප්‍රධානී එරික් ශ්මිඩ්ට් පවසන පරිදි බරැක් ඔබාමා නව තාක්ෂණයේ රසිකයෙකු ලෙසට බොහෝ දෙනා අතර පිළිගැනීමක් පවතී. ඩිජිටල් කැමරාවක් මගින් තම නිල ඡායාරූපය ලබාගත් ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා බවටත්, තම සතිපතා ජාතිය ඇමතීමේ කථාව වීඩියෝ වෙබ් අඩවියක් හරහා ඉන්ටර්නෙට් වෙත නිකුත් කරන ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා බවටත් බැරැක් ඔබාමා පත්වී ඇති බව එරික් ශ්මිඩ්ට් ප්‍රකාශ කරයි.

ඉන්ටර්නෙට් හරහා රජය වඩාත් විනිවිද බවින් යුත් එකක් බවට පත් කිරීමේ මහා ප්‍රයත්නයක් සඳහා මූලික තාක්ෂණ නිලධාරී කාර්ය මණ්ඩලයක් පත් කළ පළමු ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස ද ඔහු ඉතිහාසගත වනු ඇත.

හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ කාලය තුළ විද්‍යාව, තාක්ෂණය, විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වන ආයෝජන ආදිය පිළිබඳ එතරම් අවධානයක් යොමු නොවූ බව එරික් ශ්මිඩ්ට් පෙන්වා දෙයි.

නව ජනාධිපති ඔබාමා සමග ධවල මන්දිරය තුළ නව තාක්ෂණික ප්‍රබෝධයක් ඇතිවනු ඇතැයි ඇමරිකානු සිලිකන් නිම්නයේ තාක්ෂණඥයින් ඇතුළු සමස්ත විද්‍යා ප්‍රජාව අපේක්ෂාවෙන් සිටිති.

(BBC ඇසුරෙනි)

ජංගම දුරකතන තුළ ඉන්ටර්නෙට් ඉදිරියට

දෙසැ. 23 - බ්‍රිතාන්‍යය තුළ ජංගම දුරකතන හරහා ඉන්ටර්නෙට් වෙත පිවිසෙන්නන්ගේ ප්‍රමාණය ඉහළ යන වේගය පරිගණක තුළින් ඉන්ටර්නෙට් වෙත පිවිසෙන සංඛ්‍යාව ඉහළ යන වේගයට වඩා වැඩි වී ඇති බව සොයා ගෙන තිබේ.

ලෝක ප්‍රසිද්ධ සමීක්ෂණ ආයතනයක් වන නීල්සන් ඔන්ලයින් (Nielsen Online) ක්‍රියාත්මක කළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇත.

2008 වසරේ දෙවන හා තුන්වන කාර්තුවල මිලියන 7.3ක පමණ පිරිසක් ජංගම දුරකතන හරහා ඉන්ට්නෙට් වෙත පිවිස තිබේ. එසේම බ්‍රිතාන්‍යයේ දැනට පරිගණක තුළින් ඉන්ටර්නෙට් පිවිසෙන ගණන මිලියන 35ක් පමණ යැයි ද ගණන් බලා ඇත.

නීල්සන් ඔන්ලයින්හි ජ්‍යෙෂ්ඨ තොරතුරු විශ්ලේෂකයෙකු වන ‍කෙන්ට් ෆර්ගියුසන් ට අනුව මෙම ප්‍රවණතාවට බලපෑ කරුණු අතර ජංගම දුරකතන හරහා ලැබෙන ඉන්ටර්නෙට් සේවාවන්ට වඩාත් සහනශීලී ස්ථිර ගාස්තු ක්‍රම හඳුන්වාදීමත් ඉන්ටර්නෙට් සැරිසැරීම පහසුකරවන ජංගම දුරකතන වර්ග වෙළඳපොළට පැමිණීමත් ප්‍රධාන වේ.

මෙහිදී පෙනීගොස් ඇති තවත් කරුණක් වන්නේ, මෙසේ ජංගම දුරකතන යොදා ගනිමින් ඉන්ට්නෙට් බැලීමට වැඩි නැඹුරුවක් ඇත්තේ වඩා තරුණ වයසේ පුද්ගලයින් බවය.

එනම්, ජංගම දුරකතන මගින් ඉන්ටර්නෙට් වෙත පිවිසෙන්නන්ගෙන් 25%ක් වයස අවුරුදු 15ත් 24ත් අතර වයසේ පසුවන්නන් වූ අතර පරිගණක මගින් ඉන්ටර්නෙට් වෙත පිවිසෙන්නන්ගෙන් මෙම වයස් කාණ්ඩයේ අය නිරූපණය කළේ 16%ක් පමණ ප්‍රමාණයකි.

මේ අතර පරිගණක හරහා ඉන්ටර්නෙට් නරඹන්නන් අතර 23%ක් වයස අවුරුදු 55ට වැඩි අය වූ අතර ජංගම දුරකතන හරහා ඉන්ටර්නෙට් නරඹන්නන්ගෙන් මොවුන් 12%ක් පමණක් විය.

පරිගණකයෙන් ඉන්ටර්නෙට් වෙත පිවිසෙන්නන් අතර වඩාත් ප්‍රචලිත වෙබ් අඩවිය වී ඇත්තේ ගූගල් (Google) වන නමුත් බ්‍රිතාන්‍ය ජංගම දුරකතන භාවිත කරන්නන් වඩාත් නරඹා ඇති වෙබ් අඩවිය බී.බී.සී ප්‍රවෘත්ති (BBC News) බව මෙම සමීක්ෂණයේදී සොයාගෙන ඇත.

කෙන්ට් ෆර්ගියුසන් මෙසේ වීමට හේතුව ලෙස දක්වා සිටින්නේ, පරිගණක මගින් ඉන්ටර්නෙට් භාවිතය මූලිකවම විනෝදාස්වාදය හා මූල්‍යමය කටයුතු සඳහා යොදා ගන්නා අතර ජංගම දුරකතන සඳහා වන ඉන්ටර්නෙට් භාවිතාව ඉක්මන් තොරතුරු ලබාගැනීම මුල්කොට පැවතීමයි.

ඉන්ටර්නෙට් අපයෝජකයින්ගෙන් ප්‍රවේශම් වන්න
නොවැ. 24 - ජංගම දුරකතන හා ඉන්ටර්නෙට් භාවිත කරමින් කාන්තාවන් හා ළමුන් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධි 40ක් පිළිබඳව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එහි ස්ථානාධිපති බුද්ධික බාලචන්ද්‍ර මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවය.

ජංගම දුරකතන හා ඉන්ටර්නෙට් භාවිත කරමින් කාන්තාවන් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධි ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ද බාලචන්ද්‍ර මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ, මීට අදාළව කටයුතු කිරීමට නව නීති ගෙන එන බවය.

අපචාරවලින් මිදීම සඳහා කාන්තාවන් හා ළමුන්ගේ දැනුවත් භාවය අත්‍යවශ්‍ය බව ද බුද්ධික බාලචන්ද්‍ර මහතා පැවසීය.

සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
නොවැ. 14 - පරිගණක භාවිතය ඉහළ යන්නා සේ ම එදිනෙදා කටයුතු සඳහා ඉන්ටර්නෙට් භාවිතයට ද බොහෝ දෙනෙක් පෙළඹෙමින් සිටිති. පහසුවෙන් තොරතුරු ලබාගැනීමට වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාවත් සන්නිවේදන කටයුතු සඳහා ඊ - මේල් භාවිතයත් අධිවේගී ජීවන රටාවට විශාල පහසුවකි.

සමාජයේ අනෙක් සෑම අංශයකදී මෙන් ම ඉන්ටර්නෙට් භාවිතයේදී ද සොර සතුරන්ගෙන් ආරක්ෂා වීමට අපට සිදුවී ඇත. නොයෙක් උපක්‍රම යොදා රැවටීම් හා වංචා තුළින් අපගේ පෞද්ගලික තොරතුරු හා මුදල් ලබාගැනීමට විවිධ ඉන්ටර්නෙට් සොරු උත්සහ කරති.

ඉන්ටර්නෙට් ලොතරැයියක් ජයග්‍රහණය කළ බව දන්වමින් එම මුදල් බැර කිරීමට ගිණුමේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් ලැබෙන විවිධ ව්‍යාජ ඊ - මේල් සඳහා පිළිතුරු දීම නොකළ යුතු බව බොහෝ අය දන්නා කරුණක් වේ.

එසේ නමුත්, අප එදිනෙදා ඉන්ටර්නෙට් භාවිතයේදී නිතර සිදුකරන වෙනත් වැරදි තුළින් ඉන්ටර්නෙට් සොරුන්ට අපගේ තොරතුරු ලබාගැනීම පහසු කර දිය හැක.

වාර්තා සහ පරීක්ෂණ අනුව පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්හි ගුණදොස් සමාලෝචනය ‍කර ප්‍රකාශයට පත් කරන පිළිගත් අමෙරිකානු සඟරාවක සංස්කාරකයෙකු වන ජෙෆ් ෆොක්ස්, CNN රූපවාහිනිය සමග මෑතකදී කළ සාකච්ඡාවකදී ඉන්ටර්නෙට් තුළ අපගේ ආරක්ෂාවට හානිදායක විය හැකි වැදගත් කරුණු කිහිපයක් ගැන අවධානය යොමු විය.

ජෙෆ් ෆොක්ස් පවසන පරිදි, බොහෝ දෙනෙක් කරන ප්‍රධාන ම වරදක් වන්නේ; වෛරස් ආරක්ෂණ (anti-virus) හෝ ඉන්ටර්නෙට් ආරක්ෂණ (internet security) මෘදුකාංගයක් දමා ගත් පමණින් සදාකාලිකව තම පරිගණකය සුරක්ෂිත බවට විශ්වාස කිරීමයි.

නව පරිගණක වෛරස් දිනපතා නිපදවෙන නිසා තම පරිගණක ආරක්ෂණ මෘදුකාංග නිසි පරිදි සක්‍රීය කර තිබීමත් නිතිපතා ඒවා යාවත්කාලීන කිරීමත් (update) ඉතා වැදගත් බව ඔහු පවසයි. ජෙෆ් ෆොක්ස් මෙහිදී නිර්දේශ කරන්නේ, ඔබ ඉන්ටර්නෙට් හා සම්බන්ධ වී සිටින සෑම විටකදී ම පරිගණක ආරක්ෂණ මෘදුකාංග නිසැකවම සක්‍රීයව ඇත්දැයි බැලීමත් එය ස්වයංක්‍රීයව යාවත්කාලීන විය හැකි පරිදි සකසා තැබීමත් සුදුසු බවය.

ඇතැම් වෙබ් පිටුවලදී පැන නගින දැන්වීම් (pop - up ads/ pop - up windows) තුළට උවමනාවෙන් හෝ වැරදීමෙන් යාම නිසා තම පරිගණකයේ තොරතුරු හොරෙන් ලබාගත හැකි හානිකර මෘදුකාංග ඔබේ පරිගණකයට ඇතුළු විය හැකි බවට ද ජෙෆ් ෆොක්ස් අනතුරු අඟවයි.

එවැනි දැන්වීමක් පැන නැගි විට කළ යුත්තේ; දැන්වීම අඩංගු කොටුවේ ඉහළ දකුණු හෝ වම් මුල්ලේ වසා දැමීම සඳහා ඇති කතිරයක් සහිත බොත්තම ඔබා එය ඉවත් කිරීමයි. ඊටත් වඩා සුදුසු කටයුත්ත වන්නේ, තමා භාවිත කරන වෙබ් බ්‍රව්සරයේ පැන නගින දැන්වීම් වළැක්වීමේ හැකියාව (pop - up blocker) සක්‍රීය කර තැබීම බව ජෙෆ් ෆොක්ස් මෙහිදී ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ, නොමිලේ ඉන්ටර්නෙට් තුළින් ලබාගත හැකි මෘදුකාංග (free and open source software) බා ගැනීමේදී ප්‍රවේශම් විය යුතු බවය. එසේ ලබාගත හැකි ඇතැම් මෘදුකාංග සමග අනවශ්‍ය හා හානිකර දෑ තම පරිගණකයට ඇතුළු වීමේ අවස්ථාවක් ද ඇත.

මීට පිළියම් ලෙස ෆොක්ස් උපදෙස් දෙන්නේ, හොඳින් දන්නා විශ්වාසවන්ත වෙබ් අඩවි හරහා පමණක් නොමිලේ ලබාගත හැකි මෘදුකාංග බා ගන්නා(download) ලෙසටයි. තව ද එවැනි නොමිලේ ලබාගත් මෘදුකාංග ක්‍රියාත්මක කිරීමට පෙර තම පරිගණකයේ Windows Defender මෘදුකාංගයෙන් ඒවා පරීක්ෂා (scan) කර බැලීම ද වැදගත් වේ.

තමා ඉන්ටර්නෙට් තුළින් පිවිසෙන ගිණුම් සියල්ල සඳහා එක ම කෙටි, සරල රහස් අංකයක්/රහස් යෙදුමක් භවිත කිරීම මගින් රහස් අංක/රහස් යෙදුම් කීපයක් මතක තබාගැනීමේ අවශ්‍යතාව මගහැර ගත හැකි වුව ද එය ඉන්ටර්නෙට් අපරාධකරුවන්ට ඔබගේ තොරතුරු සොරා ගැනීම පහසු කරවන්නකි.

ඇතැම් ඉන්ටර්නෙට් සොරුන් මිලියන ගණනක් අංක හා අකුරු සංකලනයන් යොදමින් යම් ගිණුමකට අදාළ රහස් අංකය සෙවිය හැකි පරිගණක වැඩසටහන් භාවිත කරති. එවැන්නක් මගින් සොරෙකු ඔබේ එක් ඉන්ටර්නටේ ගිණුමකට පිවිසියහොත්, එක ම රහස් අංකය ඇති ඔබේ ඉතිරි ගිණුම් ද අනතුරේ වැටෙනු ඇත.

එක් එක් ගිණුම සඳහා විවිධ රහස් අංක යෙදීම අපහසු නම් ජෙෆ් ෆොක්ස් නිර්දේශ කරන්නේ, එක ම රහස් අංකයක වෙනස් ප්‍රභේද සුළු වෙනස්කම් සහිතව හෝ භාවිත කරන ලෙසය. තවද, ඉලක්කම් හා විරාම ලකුණු ද අඩංගු, අවම තරමින් අකුරු 8ක් සහිත, සංකීර්ණ රහස් යෙදුම් භාවිත කිරීම තම ආරක්ෂාවට යෝග්‍ය බව ඔහු පවසයි.

ඔබගේ බැංකු ගිණුමට අදාළ දත්ත නැවත ඇතුළත් කළ යුතු බව දක්වා එන ඊ - මේල් පණිවිඩයක් සමග තිබූ වෙනත් වෙබ් පිටුවකට යාම සඳහා වූ ඈඳීමක් (link) තුළින් ගොස් තමාගේ බැංකු ගිණුම වෙත පිවිසීම කිසිසේත් ම නොකළ යුතු බව ජෙෆ් ෆොක්ස් අවධාරණය කරයි.

තම බැංකුවේ ලාංඡනය ද සහිතව විචිත්‍රව එන, බැලූ බැල්මට සත්‍ය එකක් යැයි හැ‍ඟෙන මෙවැනි ඊ - මේල් සෑම විට ම පාහේ වංචනික ඒවා වන්නේය. එවැන්නක් තුළින් ගොස් බැංකු ගිණුම වෙත පිවිසීමට ඔබ ඇතුළත් කරන ගිණුම් අංකය හා රහස්‍ය පදය ඇතුළු සියලු තොරතුරු ලබාගන්නා මෙම සොරුන්ට එමගින් ඔබගේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගත හැකි වනු ඇත.

ඉන්ටර්නෙට් තුළින් ඔබේ බැංකු ගිණුම වෙත පිවිසිය යුතු නම්, අදාළ ගිණුම පිහිටි ආයතනයේ වෙබ් ලිපිනය ඔබගේ බ්‍රව්සරය තුළ ටයිප් කර, ඒ හරහා යා යුතු බව ඔහු පැවසීය.

තම ක්‍රෙඩිට් කාඩ්පත යොදාගෙන ඉන්ටර්නෙට් හරහා භාණ්ඩ හා සේවා ලබාගැනීම විශාල පහසුවක් වන්නා සේ ම සයිබර් සොරුන්ට එම කාඩ්පතේ අංකය ඇතුළු තොරතුරු ඉන්ටර්නෙට් මගින් දැන ගැනීමේ අවස්ථා ද සලසා දෙයි.

ක්‍රෙඩිට් කාඩ්පත මගින් ඉන්ටර්නෙට් තුළ මුදල් ගනුදෙනු කරන විට එම වෙබ් පිටුවේ ලිපිනය http. ලෙස නොව https. ලෙස ඇර‍ඹෙන එකක් දැයි බලන ලෙස ෆොක්ස් උපදෙස් දෙයි. ඊට හේතුව නම් https. ලෙස ඇර‍ඹෙන වෙබ් පිටුවල තොරතුරු සුරක්ෂිත භාවය http. ලෙස ඇර‍ඹෙන ඒවාට වඩා වැඩි වීමයි.

ජෙෆ් ෆොක්ස් නිර්දේශ කරන තවත් දෙයක් වන්නේ; තම එදිනෙදා මූල්‍ය ගනුදෙනු සඳහා එක් ක්‍රෙඩිට් කාඩ්පතක් තබාගෙන, තම ඉන්ටර්නෙට් හරහා කරන මිලදී ගැනීම් සඳහා වෙන ම ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කිරීමය. එවිට, ඉන්ටර්නෙට් සොරෙකු කාඩ්පත් අංකය සොරකම් කළ අවස්ථාවක් ඇතිවුව ද ඔබට එම කාඩ්පත අවලංගු කොට නව කාඩ්පතක් ලබාගත හැකි වන අතර, තමාගේ අනෙක් එදිනෙදා මූල්‍ය ගනුදෙනුවලට බාධාවක් සිදුනොවනු ඇත.

අවතැන්වූවන් ගැන වෙබ් අඩවියක්

ඔක්. 30 - විවිධ හේතූන් මත අවතැන්වන්නන් සුභසාධනය සහ ඔවුන්ට සහන සැලසීමේ අරමුණින් නව වෙබ් අඩවියක් විවෘත්ත කර තිබේ.

නැවත පදිංචි කිරීමේ සහ ආපදා සහනසේවා අමාත්‍යාංශය පවසන්නේ, නව වෙබ් අඩවිය මගින් අවතැන්වූවන්ගේ සුභසාධනය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට පහසුවෙන් තොරතුරු ලබාගතහැකි බවය.

www.slidpr.lk ඔස්සේ නව වෙබ් අඩවියට පිවිසිය හැකියි.

පරිගණක අපරාධ ගැන නීති වෘත්තිකයින්ට වැඩමුළුවක්
ඔක්. 27 - අධිකරණ විනිසුරුවරුන් ඇතුළු නීති වෘත්තිකයින් වෙනුවෙන් පරිගණක අපරාධ පිළිබඳ දෙදින වැඩමුළුවක් අද කොළඹදී ඇරඹිණි.

යුරෝපා කවුන්සිලය සහ ICTA හෙවත් ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය එක්ව සංවිධානය කළ එම වැඩමුළුවට, ජාත්‍යන්තරව ක්‍රියාවට නැගෙන පරිගණක අපරාධ නීති සම්පාදනයෙහිලා දායකවූ විද්වත්හු සහභාගී වෙති.

අද දින (ඔක්.27) වැඩමුළුව අධිකරණ විනිසුරුවන් වෙනුවෙන් වෙන්ව තිබූ අතර හෙට දින පරීක්‍ෂකයින්, නීතිඥයින් ඇතුළු නීති ක්‍ෂේත්‍රයේ අන් වෘත්තිකයින් සඳහා වෙන්ව තිබේ.

2007 වසරේ අංක 24 දරන පරිගණක අපරාධ පනත මෙම වසරේ ජූලි මස 15 වනදා සිට ක්‍රියාවට නැගීමත් සමග, එම නීති ප්‍රතිපාදන ක්‍රියාවට නැ‌ගීමෙහිලා අධිකරණ විනිසුරුවන්, අපරාධ පරීක්‍ෂකයින් මෙන්ම නීති වෘත්තිකයින් හට නිසි පුහුණුව ලැබීම අවශ්‍යතාවක් ලෙස මතුව ඇත.

අද කොළඹදී වැඩමුළුව ඇරඹමින් යුරෝපා කවුන්සිලයේ මානව හිමිකම් සහ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ මණ්ඩලීය ආර්ථික අපරාධ අංශයේ ප්‍රධානී ආචාර්ය ඇලෙක්සැන්ඩර් සේගර් මහතා පෙන්වා දුන්නේ පරිගණක අපරාධ පිළිබඳ නඩු රුමේනියාව වැනි ඇතැම් රටවල අධිකරණයන්හිදී අසාර්ථක වී ඇති බවය. ඒ අනුව පරිගණක අපරාධ සම්බන්ධයෙන් නීති වෘත්තිකයින් සවි ගැන්වීම යුගයේ අවශ්‍යතාවක් වී ඇතැයි ඔහු පැහැදිලි කළේය.

පරිගණක ආශ්‍රිත ලෝක ව්‍යාප්ත තොරතුරු හුවමාරුව සමාජය කාර්යක්‍ෂම කිරීමෙහිලා සාධනීය මෙහෙයක් ඉටු කළද, පරිගණ පද්ධති අනවසර ආක්‍රමණයේ සිට තොරතුරු සොරා ගැනීම සහ අශ්ලීල ප්‍රකාශනය වැනි විවිධ වූ නීති විරෝධී සහ සදාචාර සම්පන්න නොවන අපරාධ ඒ ඇසුරෙහි දිනෙන් දින වැඩිවෙමින් පවතී.

ඒ අනුව අදාළ අපරධ මර්දනය කිරීම සඳහා පරිගණක සේවා සපයන්නන්ගේ සහය මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව ඉතා වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය වන බව ද අද කොළඹදී ඇරඹුණු වැඩමුළුවේදී අවධාරණය කෙරිණි.

මෙම වසරේ අප්‍රේල් මාසයේදී යුරෝපා කවුන්සිලය සංවිධාන කළ පරිගණක අපරාධ පිළිබඳ ලෝක සමුළුවේදී , අදාළ අපරාධ මර්දනය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවට අදාළ උපදෙස් මාලාවක් ස්ථිර කර ගැනිණි.

ඒ අනුව එළැඹුණු පරිගණක අපරාධ පිළිබඳ ගිවිසුමට යුරෝපය, ලතින් අමෙරිකාව සහ ආසියාව ඇතුළු භූගෝලීය කලාප රැසක රටවල් දැනටමත් අත්සන් තබා ඇති බව යුරෝපා කවුන්සිලයේ නිලධාරීන් පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව ද එම ගිවිසුම හා එක්වෙනු ඇතැයි ඔවුහු අපේක්‍ෂා කරති.

අද කොළඹදී ඇරඹුණු වැඩමුළුව සඳහා, යුරෝපා කවුන්සිලයේ මූලිකත්වයෙන් එළිදුටු පරිගණක අපරාධ පිළිබඳ ගිවිසුම කෙටුම්පත් කිරීමෙහිලා පුරෝගාමීව ක්‍රියා කළ මහාචාර්ය හෙන්රික් කැස්පර්සන් මහතා ද සහභාගී වෙයි.

පරිගණක අපරාධ ක්‍ෂේත්‍රයේ විශේෂඥයකු වන මහාචාර්ය කැස්පර්සන් මහතා නෙදර්ලන්තයේ පරිගණක අපරාධ පනත කෙටුම්පත් කිරීමෙහි ද යෙදිණි.

අද පැවැති වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත්, නීතිපති ප්‍රියසාත් ඩෙප් යන මහත්වරු ද සහභාගී වූහ.

අධිකරණයට චන්ද්‍රිකා තාක්ෂණය
ඔක්. 22 - ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් කොළඹ වාණිජ මහාධිකරණය අද සාක්ෂි විමසීය.

ඒ, වීඩියෝ ටෙලි කන්ෆරන්ස් තාක්ෂණය භාවිත කරමිනි.

මෙම අවස්ථාවට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ද එක්ව සිටියේය.

අගවිනිසුරුවරයා සඳහන් කළේ, නඩු විභාග සඳහා නූතන තාක්ෂණය යොදා ගැනීම මගින් ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් වූ බවය.

විද්‍යාත්මක ලෝකයේ පවත්නා තාක්ෂණික දියුණුව ජනතාවගේ දෛනික කටයුතු සඳහා තීරණාත්මක අධිකරණ විනිශ්චයකදී පරිහරණය කිරීම කාලය හා මුදල් ඉතිරි කර ගැනීමට හැකි වනවා පමණක් නොව කාර්යක්ෂමතාව තුළින් ඵලදායිතාවක් ලබා ගැනීමට ද හැකි වන බව ඔහු පැවසීය.

අද කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා හමුවේ චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් අද සාක්ෂි විමසනු ලැබුවේ නාවික නඩුවකට අදාළවය.

මෙම නඩුවේ දෙවන විත්තිකාර සමාගමේ උප සභාපති ජෝන් සැම්සන් මහතා ඇමෙරිකාවේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙම නඩුවට සාක්ෂි දුන්නේය.

මූලික සාක්ෂියෙන් අනතුරුව හරස් ප්‍රශ්නවලට ද පිළිතුරු දීමෙන් පසු ඔහුගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරිණ.

දුරකතන සබදතා ලියාපදිංචියට අවසන් දිනයක්

ඔක්. 18 - ජංගම දුරකතනවල සිම් කාඩ්පත් ලියාපදිංචිය සම්බන්ධයෙන් පසුවිපරමක් සිදුකර, දුරකතන සබදතාව ලියාපදිංචි කිරීම සඳහා අවසන් කාලසීමාවක් ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා පැවසුවේ, දැනටමත් ජංගම දුරකතන පාරිභෝගිකයින් රැසක් සිය අනන්‍යතාව තහවුරු කර මෙලෙස ලියාපදිංචිවී ඇති බවය.

මිලියන 10 කට අධික පිරිසක් මෙරට ජංගම දුරකතන භාවිත කරන බවට ඇස්තමේන්තු කර ඇත.

දුරකතන සබඳතා ලියාපදිංචිය පිළිබඳ ප්‍රගතිය සොයා බැලීම සඳහා ජංගම දුරකතන සේවා සපයන ආයතන සමග මේ මස අගදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ප්‍රියන්ත කාරියප්පේරුම මහතා පැවසීය.

අනතුරුව දුරකතන සබදතාව ලියාපදිංචි කිරීම සඳහා අවසන් කාලසීමාවක් ප්‍රකාශයට පත්කරන බව ද ඔහු සඳහන් කළේය.

දියුණු වන රටවලට චන්ද්‍රිකා මගින් අධිවේගී ඉන්ටර්නෙට්
ඔක්. 16 - වසර 2010 අග වන විට ලෝකව්‍යාප්ත චන්ද්‍රිකා පද්ධතියක් මගින් දියුණුවන රටවල සිටින ජනතාවට අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම් සැපයීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මෙය නිවේදනය කළේ, ඇමරිකාවේ O3b Networks ආයතනයයි. O3b යන්නෙන් අදහස් වන්නේ 'other three billion' හෙවත් දියුණු වන රටවල ඉන්ටර්නෙට් පහසුකම් නොමැති 'අනෙක් බිලියන 3ක ජනතාව' යන්නය.

වර්තමානයේ ඉන්ටර්නෙට් තොරතුරු හුවමාරුව සඳහා පදනම වී ඇති සාගර හරහා ‍එලා ඇති ප්‍රකාශ තන්තු රැහැන් පද්ධතිය සංවර්ධනය වන රටවල් තුළ ඉන්ටර්නෙට් පිවිසුම් හැකියාවන්ගේ ව්‍යාප්තිය සීමා කර තිබේ.

ප්‍රකාශ තන්තු රැහැන් ආදී මිල අධික ද්‍රව්‍ය මත පදනම් වූ අධිවේගී ඉන්ටර්නෙට් පද්ධතියකට වඩා, චන්ද්‍රිකා මත පදනම් වූ පද්ධතියකින් වාසි රැසක් අත්වන අතර දියුණුවන රටවල් තුළ ඉන්ටර්නෙට් සේවාවන් සඳහා වන වියදම දස ගුණයකින් පමණ පහත හෙළීමේ හැකියාවක් ඊට පවතින බව O3b Networksහි ප්‍රධාන විධායක නිලධාරී ග්‍රෙග් වයිලර් පවසයි.

සාමාන්‍ය සන්නිවේදන චන්ද්‍රිකා කක්ෂගත කර තිබෙන්නේ පෘථිවියේ සිට සැතපුම් 22,000 පමණ ඉහළින් වන අතර ඒවා මගින් ලබාගත හැකි සංඥා දුර්වල වන නිසා දත්ත හුවමාරු කළ හැකි පරාසය ද සීමා සහිතය.

නමුත් O3b ආයතනය භාවිත කිරීමට අපේක්ෂා කර ඇත්තේ, පෘථිවියේ සිට සැතපුම් 6000ක් පමණ වන මධ්‍යම මට්ටමේ දුරකින් කක්ෂගත කරන චන්ද්‍රිකා වන බැවින් ඒවායෙන් ලැබෙන සංඥාවල ප්‍රබලත්වය වඩා වැඩිය.

ග්‍රෙග් වයිලර් පවසන පරිදි, ඔවුන් මේ සඳහා චන්ද්‍රිකා 16ක් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති අතර ඒවා සේවයට යෙදූ පසු සංවර්ධනය වූ රටවල ඉන්ටර්නෙට් සේවාවන්ට සමාන වේගයකින් යුත් ඉන්ටර්නෙට් දත්ත හුවමාරු වේගයන් ඒවා හරහා ලබාගත හැකිවනු ඇත.

ඉල්ලුම ඉහළයත්ම තවත් චන්ද්‍රිකා කක්ෂගත කිරීමට ද ඔවුහු බලාපොරොත්තු වෙති.

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය සහයෝගය ලැබෙනුයේ දියුණුවන රටවල වර්ධනය වන නව වෙළෙඳ පොළවල් වෙත පිවීසීමේ අමුණින් කටයුතු කරන්නා වූ ඉන්ටර්නෙට් සේවා සපයන සමාගම් හා වාණිජ බැංකු ආදියෙනි.

O3b Networksහි චන්ද්‍රිකා පද්ධතිය හරහා ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු සහ මැද පෙරදිග රටවල ජනතාවට ඉන්ටර්නෙට් තුළට පිවිසීමේ අවස්ථාව ලබා දිය හැකි වනු ඇත.

දුප්පතුන් මගහැර යන ආසියාවේ අධිවේගී ඉන්ටර්නෙට් ව්‍යාප්තිය
ඔක්. 03 - 2007 වසර අග වන විට ලෝකයේ ස්ථාවර දුරකතන පාරිභෝගිකයින්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් ද, ඉන්ටර්නෙට් භාවිතා කරන්නන්ගෙන් 42% ක් ද, අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම් පරිහරණය කරන්නන්ගෙන් 39% ක් ද ආසියා-පැසිෆික් කලාපය තුළ සිටි බව අන්තර්ජාතික විදුලි සංදේශ සංගමයේ (International Telecommunication Union - ITU) වාර්තාවක දැක්වේ.

ආසියා - පැසිෆික් කලාපය ලෝකයේ ප්‍රමුඛතම අධිවේගී ඉන්ටර්නෙට් වෙළඳපොළ වුව ද, එහි ආර්ථික අතින් පහළ මට්ටමේ පවතින ප්‍රදේශවල විදුලි සංදේශ සේවාවන්ගේ ව්‍යාප්තිය දුර්වල තත්ත්වයක ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ප්‍රකාශ කරයි.

ඇතැම් විට ආර්ථික සංවර්ධනයෙන් අඩු හා මධ්‍යම මට්ටමේ රටවල්වල අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම් කිසිසේත්ම නොපවතින අතර පවතින්නේ නම්, එවා ද නාගරික ප්‍රදේශවලට සීමාවී අධික මිලෙන් යුතුය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් ප්‍රකාශ කරන පරිදි සන්නිවේදන කටයුතුවල ප්‍රවර්ධනයට තාක්ෂණයටත් වඩා වැදගත් වන්නේ ඒවා සැපයිය හැකි යටිතල පහසුකම් සහ ඵලදායී ප්‍රතිපත්ති පැවතීමය.

ඉහත වාර්තාව නිර්දේශ කරන්නේ, ප්‍රතිපත්ති සකස්කරන්නන් තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ වර්ධනයට අනුබල දීම සඳහා කටයුතු කිරීමේදී විවිධ වූ අධිවේගී ඉන්ටර්නෙට් සේවා සපයන්නන්ට අවස්ථාව සලසා දෙමින් තරගකාරී ව්‍යාපාරික වටපිටාවක් ඇති කළ යුතු බවය.

එමගින් අධිවේගී ඉන්ටර්නෙට් සේවාව ව්‍යාප්ත වන අතර ම මිල ගණන් අවම වීමටත් හේතු වේ.

රටක පරිපාලන, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල මෙන්ම ආර්ථික සංවර්ධනයට ද අධිවේගී ඉන්ටර්නෙට් සේවාවන්ගේ ව්‍යාප්තිය හේතුවනු ඇති බව අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය පෙන්වා දී තිබේ.

සයිබර් අවකාශයේ අනාරක්ෂිත බව ළමා මනස විකෘති කරනවා - ජනපති
සැප්. 29 - සයිබර් අවකාශයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ළමා වයසේ පසුවන්නන්ගේ මනස විකෘති වීමේ අවධානමක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඉන් නොනැවති, වටිනා ළමා පරපුර ළමුන් අපයෝජනය කරන කාමාතුරයින්ගේ හා කාම වෙබ් අඩවි වලට නිරාවරණය වන බව ජනාධිපතිවරයා කියා සිටී.

ඔහු මේ බව පැවසුවේ, පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ සංගමයේ 63 වන සැසි වාරය අමතමිනි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ අසභ්‍ය වෙබ් අඩවි තහනම් කර ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එවැනි අහිතකර ක්‍රියාකාරකම් සඳහා ජංගම දුරකතන භාවිතය පාලනය කිරීමට සහ වැලැකීමට ද පියවර ගෙන ඇතැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔහු පෙන්වා දුන්නේ, මේ පිළිබඳව ලෝක නායකයින් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇති බවය.

පරිගණක වෛරස් මිලියනය ඉක්මවයි
සැප්. 12 - නවතම ඉන්ටර්නෙට් ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳ අර්ධ වාර්ෂික වාර්තාවට අනුව මෙතෙක් හඳුනා‍ගෙන ඇති පරිගණක වෛරස් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.

එම වාර්තාවට අනුව එම පරිගණක වෛරස්වලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇත්තේ 2007 වසර තුළදීය.

මෙම වෛරස් බහුතරයක් මයි‍ක්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිත පෞද්ගලික පරිගණක ඉලක්ක කොට සාදා ඇත.

තව ද, අලුතෙන් දකින්නට ලැබෙන පරිගණක වෛරස් බොහොමයක් මීට පෙර සාර්ථක වූ වෛරසයන්ගේ නව ප්‍රභේදයන්ය. බොහෝ විට හානිකර පරිගණක වැඩසටහන් ලෙස නොපෙනෙන පරිදි ආවරණයක සැඟ වී "ට්‍රෝජන් අශ්වයින්" ආකාරයෙන් පැමිණෙන ‍මේවා අවස්ථාව එළැඹීමත් සමග ම ක්‍රියාත්මක වී තම හානිකර කටයුතු අරඹනු ඇත.

පරිගණකයට හානි පමුණුවන වෛරස්වලට අමතරව පෞද්ගලික තොරතුරු සොරා ගැනීම සඳහා නිපදවා ඇති පරිගණක වැඩසටහන් විශාල ලෙස ව්‍යාප්තව තිබේ. එසේ සොරා ගන්නා පෞද්ගලික බැංකු තොරතුරු ආදිය මගින් වංචා සහගතව මුදල් ලබා ගැනීම මේවායේ මූලික අරමුණකි.

සියලුම සන්නිවේදන ආයතනවලට එක කුළුණක්

අගෝ. 29 - මෙරට රූපවාහිනී හ‌ා ගුවන්විදුලි සන්නිවේදන තත්ත්වය වඩාත් දියුණු කිරීම උදෙසා මීටර් 250ක් උස සන්නිවේදන කුළුණක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

සන්නිවේදන කටයුතු සඳහා විවිධ ආයතන කුළුණු ඉදි කිරීම නිසා සිදුවන පාරිසරික ගැටලු අවම කර ගැනීමටත් නගර අලංකරණය රැක ගැනීමටත් රජය මෙම තීරණය ගත් බව තොරතුරු හා ජන මාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

පෑලියගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට අපේක්ෂිත මෙම සන්නිවේදන කුළුණ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් පාලනය කෙරෙනු ඇත.

සියලුම සන්නිවේදන ආයතනවලට සිය විකාශන කටයුතු සඳහා මෙම කුළුණ භාව්ත කළ හැකි
බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
අගෝ. 23 - බොහෝ පුද්ගලයන් ජංගම දුරකතන භාවිත කරන අතර ළමුන් අත ද ජංගම දුරකතන දැන් දැන් දැකගත හැක.

අමෙරිකාවේ මාධ්‍ය හා ළමා සෞඛ්‍ය පිළිබඳ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට අනුව ඉදිරි වසර තුන තුළ අවුරුදු 8 ත් 12 ත් අතර ළමුන්ගෙන් 54%ක් ජංගම දුරකතන භාවිත කරනු ඇත.

තමා සමග නොසිටින විටෙක තම දරුවා පිළිබඳව සොයාබැලීමට, හදිසි අවස්ථාවකදී තමාට දරුවා ඇමතීමට හෝ දරුවාට තමාව ඇමතීමට මෙන් ම කුඩා දරුවන් සමග GPS (Global Positioning System) හැකියාව සහිත ජංගම දුරකතනයක් තැබීම තුළින් දරුවෙකු අතරමං වූ අවස්ථාවක ඒ හරහා දරුවා සොයා ගැනීමට වැනි විවිධ හේතු නිසා දෙමාපියෝ තම දරුවන්ට ජංගම දුරකතන ලබා දීමට පෙළඹෙති.

දරුවෙකුට කුමන පහසුකම් සහිත ජංගම දුරකතනයක් ලබා දිය යුතු ද? කුමන සේවා ඇති ජංගම දුරකතන පැකේජයක් දරුවෙකුට සුදුසු ද? දරුවාට ජංගම දුරකතනයක් ලබා දිය යුත්තේ කුමන වයසේදී ද? නොඑසේ නම් ජංගම දුරකතනයක් දරුවෙකුට කිසිසේත් නොදිය යුතු ද?

වියදම අතින් ගත් කල, දරුවෙකුට දෙන ජංගම දුරකතනයේ මිල මෙන් ම භාවිත කරන පැකේජය හා මාසිකව ලැබිය හැකි බිල ගැන ද මෙහිදී සැලකිලිමත් විය යුතුය.

දෙමාපියන් සැලකිය යුතු මුදලක් දී ලබාගන්නා ජංගම දුරකතන, බොහෝ ළමයින් සතු සෙල්ලම් බඩු මෙන් ම බිම වැටීම, වතුරේ වැටීම, හානි වීම හෝ නැති වීම සිදුවිය හැකි යැයි ළමා පර්යේෂකයයෝ පවසති.

එමෙන් ම ප්‍රමාණයට වඩා කතා කිරීම, කෙටි පණිවුඩ යැවීම, ගීත හා පරිගණක ක්‍රීඩා ගැනීම (download) හේතුවෙන් විශාල මාසික බිලක් ලැබ වියරු වැටී සිටින අප්‍රමාණ දෙමාපියන් සංඛ්‍යාවක් දැක ඇති බව පවසන පර්යේෂකයින්ට අනුව, ළමයින්ට ජංගම දුරකතනයක් දිය යුතු ම නම් ඊට වැය කරන මුදල අපතේ යාහැකි බව දැන කටයුතු කළ යුතු බවට ත් අනවශ්‍ය භාවිතය සීමා වන පැකේජයක් තෝරාගත යුතු බවට ත් උපදෙස් දෙති.

ඉන්ටර්නෙට් සීමා කළ, එසේත් නැත්නම් ඉන්ටර්නෙට් පහසුකම් නොමැති සහ කෙටි පණිවුඩ යැවීම සඳහා සීමා නොදැමූ පැකේජයකින් විශාල මුදල් නාස්තියක් වළකා ගත හැකි බව මෙහිදී අවධාරණය කළ යුතුය.

මගතොටේදී මෙන් ම පාසල් තුළදී හදිසි අනතුරු, ප්‍රචණ්ඩ ක්‍රියා, ත්‍රස්ත ක්‍රියා සිදුවූ අවස්ථා සලකා බලන විට තම දරුවා පිළිබඳ තොරතුරු දැන ගැනීමට දරුවා සතුව ජංගම දුරකතනයක් තිබීම දෙමාපියන්ට විශාල අස්වැසිල්ලකි.

ඇමරිකා එක්සත් ජනපද ජාතික පාසල් මාණ්ඩලික සංගමයේ නීතීඥවරයෙකු වන ටොම් හටන් පවසන පරිදි විශේෂ අවස්ථාවලදී දෙමාපියන්ට දරුවන්ට කතා කළ හැකි වීමේ වැදගත්කම අවබෝධ කරගත හැකි වුවත් ජංගම දුරකතන නිසා පන්ති කාමරයේදී ළමයින්ගේ අවධානය වෙනතකට යොමුවීමත්, කෙටි පණිවුඩ මගින් පිළිතුරු හුවමාරු කිරීමෙන් විභාග අක්‍රමිකතා සිදුකිරීමත්, නුසුදුසු පින්තූර හා වීඩියෝ පාසල් ළමුන් අතර පැතිර යාමත් මෙහි ඇති ඍණාත්මක අංග වන බවය.

ළමුන් ලිංගිකව අපයෝජනය කිරීමේ අරමුණින් දෙමාපියන්ට නොදැනෙන ලෙස දරුවන්ට ළංවීමට ඇතැම් පුද්ගලයින් ජංගම දුරකතන යොදා ගැනීමේ අවදානමක් ඇති බව ඇමරිකානු ළමා ලිංගික අපයෝජන වැළක්වීමේ ජාතික සංගමයේ සභාපති ටෙඩ් තොම්සන් පවසයි.

ළමුන්ට ජංගම දුරකතන ලබාදීමේදී සැලකිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඉන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලුය.

ජංගම දුරකතන භාවිතයේදී ඉන් නිකුත්වන විද්‍යුත් චුම්භක තරංගවලට කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් පසුකාලීනව පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතැයි මතයක් ඉදිරිපත්ව ඇත.නමුත් එය සත්‍ය බවට හෝ අසත්‍ය බවට ස්ථිරව කීම සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි තවම ලැබී නැතත් ඇමරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලීය පිළිකා ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව ළමා මොළය වර්ධනය වෙමින් පවතින නිසා ඔවුන් හදිසි අවස්ථාවලදී පමණක් ජංගම දුරකතන භාවිත කිරීම සුදුසු බවට නිර්දේශ කර ඇත.

අනෙක් සෑම දෙයක් ලෙසම, දරුවන්ට ජංගම දුරකතන ලබාදීමේදී ද එහි හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් යුතුව, කටයුතු සිදුවන ආකාරය ගැන සැලකිල්ලෙන් හා අවධානයෙන් ක්‍රියා කිරීම සුදුසු බව බොහෝ දෙනෙකු දක්වන මතයකි. (CNN ඇසුරෙනි)

විදුලි සංදේශ නියාමකයන්ගේ ඉන්ටර්නෙට් භාවිතය

අගෝ. 14 - ඉන්ටර්නෙට්හි වැදගත්කම සම්බන්ධව එම රටවල අදාළ ආයතන දක්වන තක්සේරුව පිළිබඳව ආසියා පැසිෆික් කලාපීය රටවල් ගණනාවක විදුලි සංදේශ නියාමන ආයතනයන්ගේ වෙබ් අඩවිවල ප්‍රශස්ත බව පිළිබඳව ලර්න්ඒෂියා (LIRNEasia) සංවිධානය සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.

විදුලි සංදේශ ක්ෂේත්‍රය බොහෝ රටවල වේගවත් ම වර්ධනයක් පෙන්වන අංශයක් වනවා මෙන් ම ජාතික ආදායම සඳහා දක්වන දායකත්වයේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන අංශයක් ද වන්නේය.

රටක විදුලි සංදේශ නියාමනය භාරව ක්‍රියාකරන ආයතනය එම ක්ෂේත්‍රයේ නියමුවා ලෙස සැලකෙන අතර ඔවුන්ගේ කටයුතු නිරූපණය වන පරිදි තම වෙබ් අඩවිය සකසා තිබීම අපේක්ෂා කළ යුත්තකි.

එවැනි වෙබ් අඩවියක් හරහා තම ආයතනය සපයන සේවා තම නියාමන කටයුතුවල සාර්ථකත්වය හා ක්‍රියාකාරීත්වයේ විනිවිදභාවය ආදිය පිළිබඳව තොරතුරු ලබාගත හැකි විය යුතුය.

ආසියානු කලාපයේ විදුලි සංදේශ ප්‍රතිපත්ති හා නියාමනය පිළිබඳ විද්වත් මණ්ඩලයක් ලෙස සැලකෙන ලර්න්ඒෂියා සංවිධානය විදුලි සංදේශ නියාමන ආයතනයන්ගේ වෙබ් අඩවිවල ගුණාත්මක බව පිරික්සීම සඳහා වූ මිනුම් දණ්ඩක් ගොඩනැගීමට උත්සහ දරා තිබේ.

විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සමාගම්, ආයෝජකයන්, පාරිභෝගිකයින්, පර්යේෂකයන් සහ සාමාන්‍ය ජනතාව ආදීන්ගේ කෝණයෙන් බැලූ කළ තම සේවාවන් හා නියාමන කටයුතු ගැන එම වෙබ් අඩවිවල සන්නිවේදනය කර ඇති අංග සඳහා ලකුණු ලබා දීමේ ක්‍රමයක් ලර්න්ඒෂියා සංවිධානය මෙයට භාවිතා කර ඇත.

ආසියා පැසිෆික් කලාපීය රටවල් 37ක් මෙම සමීක්ෂණයට තෝරා ගෙන තිබුණ ද ඉන් රටවල් 6ක විදුලි සංදේශ නියාමන ආයතනයන්ගේ ඉංග්‍රීසි බසින් සැකසූ වෙබ් අඩවි නොතිබූ බැවින් ඉන් ඉදිරියට ඒවා පිළිබඳ විශ්ලේෂණය කිරීමක් නොකෙරිණි.

මෙම රටවල් වන්නේ; චීනය, කුවේට්, ඉන්දුනීසියාව, මොංගෝලියාව, දකුණු කොරියාව හා යේමනයය.

එම රටවල් එදිනෙදා කටයුතුවලට ඉංග්‍රීසි භාවිතා නොකළ ද විදේශීය ආයෝජකයන්ට තොරතුරු ලබාගැනීමට මෙම වෙබ් අඩවි කරා යොමුවීමේ හැකියාව සම්බන්ධව තැකීමක් කර නැතැයි සිතිය හැක.

මෙම ලකුණු ලබාදීමේ ක්‍රමය අනූව වැඩිදුර විශ්ලේෂණයට භාජනය වූ විදුලි සංදේශ නියාමන ආයතනයන්ගේ වෙබ් අඩවි 31න් 15කට ම ලබාගත හැකි වූයේ, ලකුණුවලින් 50%ට අඩුවෙනි.

හොංකොං, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවල අදාළ ආයතනයන්ගේ වෙබ් අඩවි මෙහිදී වැඩිම ලකුණු ලැබූ අතර 75%ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ඉන්දියාව හා පකිස්තානය දකුණු ආසියානු රටවල් අතුරින් ඉදිරියෙන් ම සිටියේය.

රටේ ආර්ථික මට්ටම හා ඉන්ටර්නෙට් පහසුකම් ව්‍යාප්තිය, මෙම සමීක්ෂණයේදී ලැබූ ලකුණු ප්‍රමාණයට යම් සමාන්තර බවක් පෙන්වුව ද ඊට පටහැනි උදාහරණ ද දැකගත හැකි විය.

ආර්ථික වශයෙන් නවසීලන්තයට වඩා පහළ මට්ටමක සිටිය ද, ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවිය මෙහිදී වඩා ඉහළ ලකුණු මට්ටමක පසුවිය.

එමෙන් ම, ඉන්ටර්නෙට් පහසුම් ව්‍යාප්තිය අතින් නේපාලය, පිලිපීනයට වඩා බොහෝ පිටුපසින් සිටිය ද ලර්න්ඒෂියා සමීක්ෂණයේ වැඩි ලකුණු ලබා සිටියේ නේපාලයය.

කෙසේ වුවත් 20%ට අඩු ලකුණු මට්ටමක් පෙන්වූ කාම්බෝජය, මියෙන්මාරය, උස්බෙකිස්තානය හා පැපුවා නිව්ගිනියාව යන රටවල් ආර්ථික දර්ශක හා ඉන්ටර්නෙට් පහසුකම් ව්‍යාප්තිය අතින් ද පහළ මට්ටමේ ඇති දේශයන්ය.

ලර්න්ඒෂියා සංවිධානය 2004 වසරේ සිදු කළ මෙවැනි ම සමීක්ෂණක ප්‍රතිඵල හා සැසඳීමේදී මෙවර වර්ධනයක් දැකිය හැකි නමුත් පුදුමය වන්නේ, මෙම සමීක්ෂණයට අනුව ඇතැම් ආසියා පැසිෆික් කලාපීය රටවල විදුලි සංදේශ නියාමන ආයතනයන් තවමත් ඉන්ටර්නෙට් සන්නිවේදනයේ වැදගත්කම වටහාගෙන නැති වීමය.

කඩදාසි පොත ද? ඊ - පොත ද?
අගෝ. 08 - ඉලෙක්ට්‍රෝනික් පොත් (electronic books / e-books) යනු කඩදාසි පොත් මෙන් නොව ඉලෙක්ට්‍රෝනික තිරයක් තුළින් කියවිය යුතු ඉලෙක්ට්‍රෝනික දත්ත ලෙස පවතින ප්‍රකාශනයන්ය.

ඩෙස්ක්ටොප්, ලැප්ටොප්, පාම්ටොප්, Pocket PC, PDA (Personal Digital Assistant) ආදී පරිගණක වර්ග මෙන්ම ඊ - පොත් සඳහා ම නිපද වූ නොයෙක් දෘඩාංග හරහා ඊ - පොත් කියවිය හැකි අතර ඒවාට සුවිශේෂී මෘදුකාංග ද ඇත.

මුල් වරට ඊ - පොත් භාවිතයට පැමිණි කාලයේ මුද්‍රිත කඩදාසි පොතේ අවසානය එයත් සමග සනිටුහන් වෙතැයි පළවූ අනාවැකි සඵලවන බවක් තවම දක්නට නැත.

කඩදාසි පොත් හා පිටු අතර ස්පර්ශය සමග එන හැඟීමට තිරයක ඇති යමක් කියවීම කිසිසේත් සම කළ නොහැකි බව ඇතැම් තාක්ෂණඥයෝ පෙන්වා දෙති.

ඊ - පොත් නිකුත් කිරීමේදී වෙනස් ප්‍රකාශකයන් එක් පිළිගත් මෘදුකාංග ආකෘතියක් ඇසුරෙන් එය නොකිරීම හා ඊ - පොත් කියවීම සඳහාම වූ වෙළඳපොළේ ඇති උපාංගවල අධික මිළ ඊ - පොත් ප්‍රචලිත වීමට බලපා ඇති බවට ද සැලකේ.

මේ අතර, බ්‍රිතාන්‍යය් නැගෙනහිර ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ ලේඛන කලාව පිළිබඳ මහාචාර්ය කැත්රින් හියුස් ප්‍රකාශ කරන්නේ, ඉඩකඩ බේරාගැනීම, ලේඛනය තුළ ඇති කොටස් සොයා ගැනීමේ පහසුව හා ඉන්ටර්නෙට් හරහා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව වැනි වාසි ඊ - පොත් තුළ ඇති බවය.

ප්‍රකාශන හිමිකම් කාලය ඉකුත් වූ 25,000කට අධික සම්භාව්‍ය කෘති ලබාගත හැකි Project Gutenburg වැනි වෙබ් අඩවි නිසා ඊ - පොත් භාවිතය විශාල ලෙස ඉහළ යනු ඇතැයි පවසන ලේඛිකා නයෝමි ඕල්ඩමන්ගේ අදහස වන්නේ, මෙමගින් සාහිත්‍යය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමක් නිරූපණය වන බවය.

පරිගණක තිරය සමග හැදී වැඩෙන නව පරම්පරාව ඊ - පොත් භාවිතය පිළිබඳව කුමන ආකාරයේ ආකල්පයක් දරනු ඇත්දැයි කිව නොහැකි බව සඳහන් කරන තාක්ෂණඥයින් අනුමාන කරනුයේ, අනාගතයේදී කඩදාසි පොතක් ලෙස පෙනුම ඇති කඩදාසි වැනි තුනී පිටු සහිත ඒ ලෙසටම අතට දැනෙන්නාවූ ඊ - පොත් කියවිය හැකි ඉලෙක්ට්‍රෝනික් උපකරණයක් බිහිවිය හැකි බවය.

අසැබි වෙබ් අඩවි නැරඹීමට වැට
අගෝ. 03 - අසභ්‍යයැයි සැලකෙන වෙබ් අඩවි තුළට ප්‍රවේශ වීම වළක්වාලීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, පසුගිය අගෝස්තු පළමුවැනිදා සිට මෙය ක්‍රියාත්මක බවය.

දැනට ඉන්ටර්නෙට් පහසුකම් සලසන සමාගම්වලට මේ පිළිබඳ නියෝග නිකුත් කර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකරන සමාගම්වලට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.

පෙරළියකට සැරසෙන ඉන්ටර්නෙට් ලිපින නාමකරණය

ජූලි 28 - වෙබ් අඩවියක ලිපිනයේ අගට තිතක් සමග යෙදෙන අකුරු කිහිපය අනුව එම වෙබ් අඩවිය කුමන රටක ද? එසේත් නැත්නම් කුමන ක්ෂේත්‍රයට අයත් එකක දැයි අවබෝධයක් ගත හැක.

මේවා අතර රටවල් සඳහා විශේෂිත .lk (ශ්‍රී ලංකාව), .uk (එක්සත් රාජධානිය) වැනි අකුරු ද, වාණිජ ක්ෂේත්‍රය සඳහා .com වැනි අකුරු ද, ආයතන හා සංවිධාන සඳහා .org, .net වැනි අකුරු ද දැකගත හැක.

ඉන්ටර්නෙට් නියාමනය කරන සංවිධාන විසින් මෙතෙක් කල් එවැනි අඩවි නාම (Domain names) වර්ග නිකුත් කිරීම සීමා කරනු ලැබ තිබිණි. එබැවින් බොහෝ වෙළෙඳ සමාගම් සහ වෙළෙඳ නාම, තම වෙබ් අඩවි සඳහා ඔවුන්ගේ නම්වලට හෝ ඔවුන්ගේ ක්ෂේත්‍රයේ නම්වලට සමාන අඩවි නාම ලබාගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක විය.

මේ අතර ඇතැම් වෙළෙඳ සමාගම් තිබෙන සීමා යටතේ වුව ද තම අවශ්‍යතාව ඉටුකරගැනීමට ක්‍රම සොයාගෙන තිබේ. උදාහරණයක් ලෙස සමහර රූපවාහිනී සමාගම් .tv අඩවි නාමය අයත් පොලිනීසියානු දූපත් රාජ්‍යයක් වන ටුවාලු රටෙන් .tv අඩවි නාමය භාවිතයේ අයිතිය බද්දට ලබාගෙන ඇත.

ඉන්ටර්නෙට් පරිපාලනය හා අඩවි නාමකරණ පද්ධතිය නියාමනය කරන සංවිධානක් ලෙසකටයුතු කරන The Internet Corporation for Assigned Names and Numbers (ICANN) නම් වූ ආයතනය, අඩවි නාම ලිපිනයන් ලබාදීමේ සීමා ලිහිල් කිරීම පිළිබඳව පසුගිය අවුරුදු 3 පුරා සලකාබලමින් සිටියි. එම සීමා ඉවත්කිරීම සම්බන්ධව ඉන්ටර්නෙට් නියාමනය කරන්නන් අතර ඡන්ද විමසීමක් ළඟදීම පවත්වන බව ICANNහි ප්‍රධාන විධායක ආචාර්ය පෝල් ට්වොමී ප්‍රකාශ කළේය.

අදාළ තීරණය අනුමත වුවහොත් වෙළෙඳ නාම සඳහා පමණක් නොව තනි පුද්ගලයන්ට පවාතමාගේ නමින් අඩවි නාම වෙන් කර ගත හැකිවනු ඇත. එපමණක් ද නොව ආසියානු හා අරාබි අක්ෂර අඩංගු අඩවි නාම ලියාපදිංචි කිරීමට අවසර ලැබීමෙන් ඉන්ටර්නෙට් ජාලය සත්‍ය ලෙස ම අන්තර්ජාතික කිරීමේ අවස්ථාව ද මෙමගින් උදාවේ.

ඉඩම් අලෙවිකරන ආකාරයට හෝ වෙන්දේසි කරන ආකාරයට ඕනෑම අයෙකුට අඩවි නාම සඳහා අයිතිවාසිකම් කිව හැකි වන අතර ස්වාධීන තීරක මඩුල්ලකින් සලකා බැලීමෙන් පසු ඊට අදාළ ලියාපදිංචි ගාස්තුව ගෙවා එම අඩවි නාමය ලබා ගත හැකි වේ.

සන්නිවේදන තාක්‍ෂණ භාවිතය වේගයෙන් ඉහළ යයි
ජූලි 26 - 2004 වසරට සාපේක්ෂව ශ්‍රී ලාංකිකයින් සන්නිවේදන තාක්ෂණයට නැඹුරුවීම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

මේ බව අනාවරණ වන්නේ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව පිළිබදව පවත්වන ලද සමීක්ෂණයකිනි.

ඒ අනුව දිවයිනේ වයස අවුරුදු 5 ත් 69 ත් අතර, පුරවැසියන් අතුරින් සියයට 5.2 ක ප්‍රමාණයකට තනිවම විද්‍යුත් තැපෑල භාවිත කළ හැකි බවත්, සියයට 5 කට පමණ ඉන්ටර්නෙට් භාවිත කළ හැකි බවත් අනාවරණ වී තිබේ.

අදාළ සමීක්ෂණ වාර්තාවට අනුව 2004 වසරේදී මෙය පැවතියේ පිළිවෙලින් සියයට 2.8 ක් සහ 2.6 ක් වශයෙනි.

බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුරු මැද, ඌව, සබරගමුව, වයඹ සහ නැගෙනහිර යන පළාත් ආවරණය වන පරිදි සමීක්ෂණය පවත්වා තිබේ.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, විද්‍යාත්මක නියැදි සමීක්ෂණයක් තුළින් තෝරාගත් ගෘහ ඒකක 19,628 ක් අතුරින් මෙහිදී දත්ත රැස්කළ බවය.

මීට අදාළ වාර්තාව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ඩි.බී.පී. සුරන්ජනා විද්‍යාරත්න මහත්මිය විසින් ජනාධිපති වෙත භාරදී තිබේ.

ජංගම / සීඩීඑම්ඒ දුරකතන භාවිතයට නව නීති

ජූලි 12 - ජංගම සහ සී.ඩී.එම්.ඒ. දුරකථන සඳහා නව නීති හදුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි ජාල අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඩී. ද අල්විස් මහතා ප්‍රකාශ කළේ, මාර්ග බාධක වලදී ජංගම දුරකථනවල අනන්‍යතාව පරික්ෂා කිරීමට අවශ්‍ය නීති ඉදිරියේදී ගෙන එනු ඇති බවය.

මේ යටතේ ජංගම දුරකථනයක් ළඟ තබාගැනීමේදී එම දුරකථන සබඳතාව තමන්ගේ බව තහවුරු කිරීම සදහා අනන්‍යතා සහතිකයක් ළඟතබා ගැනීම අනිවාර්ය කෙරේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ අදාළ නීති කඩකරන පුද්ගලයින්ගේ දුරකථන සබදතා අක්‍රිය කිරීමට පියවර ගන්නා බවය.

නව නීති යටතේ සී.ඩී.එම්.ඒ. දුරකථන ලියාපදිංචි කර ඇති ලිපිනයෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමද තහනම් කෙරනු ඇති.

මීට අමතරව සී.ඩී.එම්.ඒ. දුරකථන භාවිත කිරිමේදී අදාළ දුරකථනය, ලියාපදිංචි කර ඇති ලිපිනයේ පමණක් භාවිතය අනිවාර්ය කිරීමේ නීති ද ගෙන එන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ජංගම දුරකතන මගින් පුද්ගල ගමන් බිමන් සොයා බැලීම
ජූලි 07 - ජංගම දුරකතනය හරහා ජංගම දුරකතන සේවා ජාලයට තමාගේ ගමන් බිමන් පිළි‌‌බඳ සොයා බැලීමට හැකියාවක් ඇත.

පුද්ගලයකු කතා කිරීමට හෝ කෙටි පණිවිඩ යැවීමට තම ජංගම දුරකතනය යොදාගන්නා සෑම විටක ම ඔහු හෝ ඇය සිටින ස්ථානය අනුව ක්‍රියාත්මක වන ඊට ආසන්නතම ජංගම දුරකතන සේවා කුළුණ ඇසුරෙන් අදාළ පුද්ගලයා සිටින ස්ථානය ප්‍රකාශ කළ හැකි වේ.

ඕනෑම අයෙකුට සේවා ජාලය හරහා වෙනත් අය ගමන් කළ ස්ථාන දැන ගැනීමට අවස්ථාවක් නැතත් බලධාරීන්ට හා විශේෂ සේවා සපයන ආයතනවලට එසේ කළ හැක.

එක්සත් රාජධානියේ විදුලි සංදේශ නියාමන ආයතනය වන ඔෆ්කොම්හි ප්‍රධානියා වන ආචාර්ය විලියම් වෙබ් පවසන පරිදි ඇ‌ෙමරිකාවේ මැසචූසෙට්ස් තාක්ෂණ ආයතනයේ (Massachusetts Institute Of Technology- MIT) විද්‍යාඥයෙන්ට මෙම හැකියාව භාවිත කර එක් අවස්ථාවකදී රෝමයේ වාහන තදබදය පිළිබඳ ආකෘතියක් එම වේලාවේ ම නිර්මාණය කළ හැකි වී ඇත.

මේ අතර, මයික්‍රෝසොෆ්ට් ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් ජංගම දුරකතන හරහා ලබාගන්නා දත්ත ඇසුරෙන් මගීන් හා රථවාහන රියදුරන්ට එම අවස්ථාවට අනුව තම ගමන සඳහා තදබදය අවම මාර්ග තෝරා ගැනීමට උපකාර විය හැකි සේවාවක් ලබාදීම සම්බන්ධ පර්යේෂණ සිදුකරමින් පවතින බව ද ඔහු පවසයි.

අපරාධ මර්දනයේදී සැකකරුවන්ගේ ගමන් බිමන් සොයා බැලීම මෙම තාක්ෂණයේ වඩාත් වැදගත් භාවිතාවකි.

ලන්ඩන් නුවර 2005 වසරේ ජූලි 21 දා අසාර්ථක වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධව අත්අඩංගුවට පත් හතර දෙනාගෙන් එක් අයෙකු වූ හුසේන් ඔස්මාන් අල්ලා ගැනීමට ඉතාලි පොලිසිය මෙම තාක්ෂණය භාවිත කර ඇති බව සිහි කළ ආචාර්ය වෙබ් කියන පරිදි මෙහි තවත් යෙදීම් විශාල ප්‍රමාණයක් අනාගතයේදී දැකගත හැකි වනු ඇත.

අධ්‍යාපනයට ලැප්ටොප් පරිගණක
ජූනි 13 - අවට ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණෙන ළමුන් 300කට පමණ අධ්‍යාපනය ලබා දෙන නයිජීරියාවේ අබූජා නගරය අසල 'ගලඩීමා' රජයේ ප්‍රථමික පාසල, මෑතකදී සුවිශේෂී පර්යේෂණයක් සඳහා යොදා ගැනිණි.

දියුණුවන ලෝකයේ රටවල දරුවන්ට තම අධ්‍යාපනයේ උපරිම ඵල නෙළා ගැනීමේ හැකියාව ලබා දීමේ අරමුණින් ක්‍රියා කරන 'සෑම දරුවෙකුට එක් ලැප්ටොප් පරිගණකයක්' (One Laptop Per Child - OLPC) නම් වූ අමෙරිකානු කණ්ඩායම නිර්මාණය කළ ඩොලර් සියයේ ලැප්ටොප් පරිගණකය මෙහිදී පර්යේෂණයට භාජනය විය.

නිෂ්පාදන වියදම අවම වන පරිදි, පහසුවෙන් තැන තැන රැගෙන යා හැකි පරිදි හුරුබුහුටි ලෙස නිර්මාණය කර ඇති මෙම ලැප්ටොප් පරිගණක එක බැගින් මෙම පාසලේ සිසු-සිසුවියන්ට OLPC කණ්ඩායම විසින් ලබා දෙන ලදී.

ඒ සමගම මෙම පාසලට චන්ද්‍රිකා ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් සමග විදුලි ජනක යන්ත්‍රයක් සහ සූර්ය කෝෂ කට්ටලයක් ද සපයා, ඉගෙනීමේ කටයුතු පරිගණක ආශ්‍රයෙන් සිදුකිරීම ආරම්භ කෙරිණ.

නයිජීරියාවේ OLPC කණ්ඩායමේ ස්වේච්ඡා නිලධාරිවරයෙකු මෙන් ම නීතීඥයෙකු ද වන අයෝ කුසමොටු පවසන පරිදි මෙමගින් බලාපොරොත්තු වූයේ, ලැප්ටොප් පරිගණක, මෙවැනි කුඩා දරුවන්ගේ රළු භාවිතයට කෙසේ මුහුණ දෙනු ඇත්දැයි නිරීක්ෂණය කිරීමත් එහි භාවිතාවෙන් හඳුනා ගත හැකි වෙනත් අඩු පාඩු අනාවරණය කර ගැනීමත්ය.

මෙය මාස 5 ක් පුරා ක්‍රියාත්මක වූ අතර, එතුළින් බොහෝ දේ වටහා ගැනීමට හැකි වූ බව OLPCහි වෝල්ටර් බෙන්ඩර් පවසයි.

එම අත්හදා බැලීම අවසන්ව ඇති නමුත් 'ගලඩීමා' පාසලේ දරුවෝ දැනටත් මෙම අඩු වියදම් ලැප්ටොප් පරිගණක තම අධ්‍යාපනයට යොදා ගනිති.

පාසලේ ගුරුතුමියක් පැවසුවේ, තමන් සතු මෙම ලැප්ටොප් පරිගණක ගැන විශාල සතුටක් හා ආඩම්බරයක් දරුවන් තුළින් දැකගත හැකි අතර එමගින් ඉගෙනීමට ඇති උනන්දුව දරුවන් තුළ පමණක් නොව දෙමාපියන්ගේ සහ අවට ප්‍රදේශ වාසීන්ගේ ද වර්ධනය වී ඇති බවය.

ඉන්ටර්නෙට් රූපවාහිනියට බලපෑම් කරයිද?

ජූනි 03 - ඉන්ටර්නෙට් තුළින් රූපවාහිනී වීඩියෝ වැඩසටහන් හා චිත්‍රපට පරිගණකයට ලබා ගැනීමේ හා නැරඹීමේ ප්‍රවණතාවක් ඉන්ටර්නෙට් භාවිත කරන්නන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග ලොව ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතන මෙම නව වෙළෙඳ පොළ තුළ තමන්ගේ කොටස ස්ථාපනය කර ගැනීමට වෙර දරමින් සිටී.

දිනෙන් දින ඉහළ යන මෙම නව ඉන්ටර්නෙට් ප්‍රේක්ෂක ප්‍රජාව ග්‍රහණය කර ගැනීමේ උනන්දුවෙන් මාධ්‍ය ආයතන, ඔවුන් විසින් විකාශය කරනු ලබන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් වීඩියෝ මාධ්‍යයෙන් නැර‌ඹීම සඳහා ලබාගත හැකි වෙබ් අඩවි ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළකට එළඹ සිටින බව වෝනර් බ්‍රදර්ස් සමාගම පවසයි.

මෙවැනි වෙබ් අඩවිවලින් රූපවාහිනී කතා මාලාවල කොටස් මෙන් ම චිත්‍රපට ද, අය කිරීමක් සහිතව හෝ නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව ඇත.

සී.එන්.එන්., බී.බී.සී. සහ අල්ජසීරා වැනි රූපවාහිනී ප්‍රවෘත්ති ආයතනවල වෙබ් අඩවි හරහා ඔවුන්ගේ රූපවාහිනී විකාශයේ ප්‍රවෘත්ති වාර්තා සියල්ලක ම පාහේ වීඩියෝ නැරඹීමේ අවස්ථාව පවා දැන් සලසා තිබේ.

පසුගිය වසරේදී එක්සත් ජනපදය තුළ ඉන්ටර්නෙට් හරහා නැර‌ඹූ වීඩියෝ වැඩසටහන් ප්‍රමාණය 66% තරම් විශාල අගයකින් ඉහළ ගිය බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ සඳහන් කරති.

තව ද, ඇමරිකානුවන් පසුගිය පෙබරවාරි මාසය ඇතුළත පමණක් ඉන්ටර්නෙට් තුළින් ලබාගත් වීඩියෝ වැඩසටහන් ප්‍රමාණය බිලියන 10ක් පමණ බව අධ්‍යයනය කර ඇත.

මෙසේ ඉන්ටර්නෙට් හරහා රූපවාහිනී වැඩසටහන් වීඩියෝ ආකාරයෙන් ලබා ගැනීමේ හැකියාව, සාම්ප්‍රදායික රූපවාහිනී සංස්කෘතියේ හා තාක්ෂණයේ පැවැත්මට කෙතරම් අභියෝගයක් වනු ඇත්ද?

තමාට කැමති වේලාවකදී වෙනත් රටක සිට පවා අදාළ වැඩසටහන් නැරඹීමේ හැකියාවත්, වැඩසටහන් අතරතුර වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයක් විකාශය වීමෙන් රසාස්වාදයට සිදුවන හානිය අවම වීමත් නිසා මෙය රූපවාහිනියට විකල්පයක් විය හැකි බව ඇතැම් විද්වතුන්ගේ මෙන් ම ඇතැම් ප්‍රේක්ෂකයින්ගේ ද මතය වී ඇතැයි පර්යේෂණවලින් හෙළිවී ඇත.

දිළිඳුකම මැඩලීම සඳහා ජංගම දුරකතන
මැයි 23 - ජනගහනයෙන් 100 කට ඇති ජංගම දුරකතන ගණන 10 කින් වැඩි කිරීම මගින් දළ දේශීය නිෂ්පාදනය 0.6% කින් ඉහළ දැමිය හැකි බව 2005 වසරේදී සිදු කළ අධ්‍යයනයක් මගින් හෙළිවී ඇත.

මේ අනුව, අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳුකමට එරෙහි ව්‍යාපෘතියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අප්‍රිකානු රටවල් 10 ක ගම්මාන 79ක් ජංගම දුරකතන ජාල සමග සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වේ. එ මගින් ලෝකයේ ආර්ථික අතින් පහළ ම මට්ටමක සිටින මිලියන භාගයක් පමණ වූ ජනතාවකට ජංගම දුරකතන භාවිතයේ ඵල ප්‍රයෝජන ලැබීමේ අවස්ථාව නුදුරු අනාගතයේ උදා වනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානෙය් මහ ලේකම්වරයාගේ විශේෂ නියෝජිත අචාර්ය ජෙෆ්රි සැච්ස් පවසන පරිදි ජංගම දුරකතන පුදුමාකාර ලෙස ජනතාව බල ගන්වන තාක්ෂණයක් වන අතර සන්නිවේදනය අත්‍යවශ්‍ය ඈත පිටිසර ප්‍රදේශ සඳහා මෙය විශේෂයෙන් ම අදාළ වේ.

ජංගම දුරකතන ජාල සම්බන්ධතා මගින් අදාළ ප්‍රදේශවල ආර්ථිකය වැඩි දියුණු වීම මෙන් ම සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වයන්හි ප්‍රගතියක් ද සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජංගම දුරකතන සඳහා අප්‍රිකාවේ සාර්ථක වෙළෙඳපොලක්

මැයි 15 - අප්‍රිකාව, ජංගම දුරකත සඳහා සාර්ථක වෙළෙඳපොලක් ලෙස ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය පවසයි.

2007 වසර සඳහා පමණක් නව ජංගම දුරකතන ග්‍රාහකයින් මිලියන 65 ක් වාර්තා වී තිබේ.

ඊජිප්තුවේ කයිරෝ නුවරදී පසුගිය සඳුදා (මැයි 12) ඇරඹුණු ITU TELECOM AFRICA 2008 ප්‍රදර්ශනයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතනයක් වන ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) අප්‍රිකානු කලාපය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවෙහි එම තොරතුරු ඇතුළත් විය.

විදුලි සංදේශ ක්‍ෂේත්‍රයට අදාළව, අප්‍රිකාව ඉතා ක්‍රියාශීලී ස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බව ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ මහලේකම් හම්දූන් ටූරේ පෙන්වා දෙයි.

නිදහස් වෙළෙඳපොල ප්‍රත්පත්ති ක්‍රියාවට නැගීම සහ විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ සාධාරණ සහ තරගකාරී පරිසරයක් ගොඩනැගීම සඳහා නියාමන ඒකක ස්ථාපනය කිරීමට කලාපයේ රටවල් පියවර ගෙන ඇති බව ද මහලේකම්වරයා පවසයි.

ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ වාර්තාව අනුව 2008 වසර ආරම්භ වන විට අප්‍රිකානු මහද්වීපය තුළ ජංගම දුරකතන ග්‍රාහකයින් ප්‍රමාණය මිලියන 250 ක් ඉක්මවා පැවතිණි.

ජංගම දුරකතනවලට ලොව පුරා දැඩි ඉල්ලුමක්

මැයි 01 - ධනවත් රටවල ආර්ථික අස්ථායීතාවක් මතුවෙමින් පැවතියද, දුගී රටවල ආහාර මිල ඉහළ ගියද, ලොව පුරා ජංගම දුරකතන සඳහා ඇති අධික ඉල්ලුමෙහි නම් වෙනසක් නැති බව සමීක්‍ෂණවලින් පෙන්නුම් කරයි.

ඒ පිළිබඳව ‌‌සමීක්‍ෂණයක යෙදුනු Strategy Analytics ආයතනය පෙන්වා දෙන පරිදි මෙම වසරේ පළමු මාස තුන තුළදී ජංගම දුරකතන මිලියන 282 ක් ලොව පුරා නැව්ගත කර තිබේ.

එය මීට වසරකට පෙර තිබූ තත්ත්වයට වඩා 14% ක් ඉහළ යාමකි.

ආසියානු සහ අප්‍රිකානු වෙළෙඳපොල තුළ ජංගම දුරකතන සඳහා වැඩි වෙමින් පවතින ඉල්ලුම, එම වර්ධනයට හේතු වී ඇති බව Strategy Analytics ආයතනය පවසයි.

ලෝක ව්‍යාප්ත ජාලය තවම පසුකරන්නේ ළදරු අවධියයි - බර්නර්ස් ලී

මැයි 01 - ලෝක ව්‍යාප්ත ජාලය (world wide web) තවමත් පසුවන්නේ එහි ළදරු අවධියේ බව එහි නිපැයුම්කරු වන ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී පවසයි.

ලෝක ව්‍යාප්ත ජාලයේ කේතය පොදු භාවිතයට එක් කිරීමේ 15 වැනි සංවත්සරය අභියසදී ශ්‍රීමත් බර්නර්ස් ලී පැවසුවේ ලොවේ ඇති සියලුම දත්ත, අනාගත ලෝක ව්‍යාප්ත ජාලය මගින් එය භාවිත කරන සෑම අයෙකුගේම ඇඟිලි තුඩු අගට ගෙනෙනු ඇති බවය.

ඇතැම් අයහපත් දේ පැවතියද, මිනිසුන්ට විශාල වැඩකොටසක් ඉටු කර ගත හැකි වටිනා මෙවලමක් බවට ‌ලෝක ව්‍යාප්ත ජාලය පත්ව ඇතැයි ඔහු කියා සිටී.

ලෝක ව්‍යාප්ත ජාලය පොදු ව්‍යවහාරයට පත්වූ දා සිට එය ව්‍යාප්තව ගොස් අද වන විට ලොව පුරා වෙබ් අඩවි මිලියන 165 ක් පමණ ඇතැයි ඉන්ටර්නෙට් පර්යේෂණ ආයතනයක් වන Netcraft පවසයි.

ලෝක ව්‍යාප්ත ජාලයේ අනාගතය පිළිබඳ බෙහෙවින් සුබවාදීව අදහස් පළ කරන ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී, මිහිතලය කළමනාකරණය සඳහා ‌ලෝක ව්‍යාප්ත ජාලය උපකාරී වන දිනයක් දැකගත හැකි බවට අනාවැකි පළ කරයි.


ආචාර්ය හත්තොටුවගම අභාවප්‍රාප්ත වෙයි
අපද්‍රව්‍ය සහිත තවත් එනනත් කුප්පියක් මාතලෙන්
මුහුදට බිලිවූ පුද්ගලයා පහරකෑවේ පොලිසියෙන්
ජනපති නේපාලයේ සංචාරයක
ෂාන් යළිත් මහඇමති ධුරයට
මහනුවර වැවේ මසුන් මිය යයි
වැල්ලම්පිටියේ සිසු ගැටුමක්
කොට උඩ ගිය දුම්රිය යළි සේවයට
ජනපති - වෘත්ති සමිති නායක සාකච්ඡා
තුනක් මරණෙට නියම වෙති
නිදන් හෑරූ සිවුදෙනෙක් කොටුවෙති
බාහිර උපාධි නැංවීමට කමිටුවක්
ඛනිජතෙල් සේවකයින් යළි සේවයට
රුසියානු විදේශ ඇමති පැමිණෙයි
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment